බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ ලබා දෙන සේවා
1. මහජන අධාර මාසික දීමනාව රු 250 සිට 500 දක්වා අඩු ආදායම්ලාභී වයෝවෘද්ධ/වයස්ගත බවින් හැර අබලන් වූවන්/ ලෙඩ වූවන්(තාවකාලික)/ යැපෙන දරුවන් සිටින වැන්දඹුවන්/ අවු 16 අඩු අනාථ දරුවන් උක්ත දීමනාව ලැබීමට හිමිකම් ලබයි.
ඒ සදහා අවශ්‍ය පෝරම
- ස.සේ.ම.ආ. 1 හා ස.සේ.ම.ආ. 2
- වෛද්‍ය සහතික/ සනාථ කිරීමේ ලියවිලි.
2. ක්ෂය රෝග ආධාර/පිළිකා රෝගාධාර/ තැලසීමියා රෝගාධාර /අඩු ආදායම්ලාභී ඉහත රෝගයෙන් පෙලෙන පුද්ගලයන් උක්ත දීමනාව ලැබීමට හිමිකම් ලබයි.
අවශ්‍ය පෝරම
- ඇස් ඇස්/ටීබී/3
- වෛද්‍ය සහතික
පෝෂන ආධාර/(අපස්මාර හා අංශභාග රෝගය) මූල්‍ය ආධාර(මානසික රෝගීන්) ඉහත රෝගයෙන් පෙලෙන පුද්ගලයන් උක්ත දීමනාව ලැබීමට හිමිකම් ලබයි.
අවශ්‍ය පෝරම
- අබල වාර්තාව
- වෛද්‍ය සහතික
3. අධ්‍යාපන ආධාරය රු 500-1500
පියා මියගිය/ පියා හැරගිය/ පියා රැකියාවක් කර ගැනීමට නොහැකි ලෙස ඔත්පල වූ අඩුආදායම්ලාභී පවුල් වල පාසැල් යන දරුවන් මෙම දීමනාව ලැබීමට හිමිකම් ලබයි.
අවශ්‍ය පෝරම -
- බ.ප.ස.සේ.වි.ආ.(1) (අබලවාර්තාව)
- පියාගේ මරණ සහතිකය/ පවුල හැරගිය බව සනාථ කරන දිවුරුම් සහතිකය/ වෛද්‍ය සහතිකය
- දරුවාගේ උප්පැන්න සහතිකය
- ඉගෙනුම ලබන පාසැලේ විදුහල්පති සහතිකය
4. ආබාධිත උපකරණ
අඩු ආදායමිලාභී පවුල් වල ආබාධිතතාවයට පත් වූ පුද්ගලයන් හට එදිනෙදා කටයුතු පහසු කර ගැනීම සඳහා මෙම උපකරණ ඉල්ලුම් කිරීමට හිමිකම ඇත.
- අබල වාර්තාව
- වෛද්‍ය සහතිකය
5. සැත්කම් ආධාර උපරිමය රු 50 000 දක්වා
- අඩුආදායම්ලාභී බව සනාථ කෙරෙන ග්‍රාම නිලධාරී සහතිකය සහිත ඉල්ලීමේ ලිපිය
- සැත්කම් වියදම් ඇස්තමේන්තු මුදල සඳහන් පිළිගත හැකි ලේඛන
- ඉල්ලුම්කරුට සැත්කම සිදු කිරීමට අවශ්‍ය බව සඳහන් වෛද්‍ය සහතිකය.
- අබල වාර්තාව
සමාජ සේවා හා සමාජ සුභසාධනය
- මහජනාධාර ගෙවීම
- වැඩිහිටි නිවාසයකට ඇතුළත් කිරීම
- වැඩිහිටි හැදුනුම්පතක් ලබාදීම
- ආබාධ සහිත වූවන්ට උපකරණ ලබාදීම
- ආබාධ සහිත වූවන් පුනරුත්ථාපනය කිරීම
- ආබාධිත හා මහජනාධාර පුනරුත්ථාපන ස්වයං රැකියා ආධාර ලබාදීම
- ආබාධිත තැනැත්තන් සඳහා නිවාස ආධාර ලබාදීම
- යථායෝග්‍යාධාර ලබාදීම
- රෝගාධාර ගෙවීම
- ස්වේච්ඡා හා සමාජ සේවා සංවිධාන ලියාපදිංචි කිරීම
- විස්තීර්ණ ආපදා ගෙවීම
- ශිෂ්‍යාධාර අයදුම්පත් නිර්දේශ කිරීම
- සමාජ ආරක්ෂණ මණ්ඩල විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට බඳවා ගැනීම
- උපදේශන සේවාවන් සැපයීම
- හදුනා නොගත් වාහනවලින් අනතුරුවලට භාජනය වූ පුද්ගලයන් සඳහා වන්දි ගෙවීම
- දීර්ඝ කාලීනව ඖෂධ ලබා ගැනීමට හෝ සායනවලට යාමට ගමන් වියදම් හෝ වෛද්‍යාධාර සැපයීම
සමාජ සුභසාධන අංශයේ වැඩසටහන් - 2019
මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන ක්‍රියාවලිය සඳහා යොමු කරලීමේ වැඩසටහන - 2019
සමාජ පිළිලයක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගේ ප්‍රමාණය දිනෙන් දින ඉහළ අගයක් ගන්නා නමුත් එය මර්දනය කිරීමට ඇති ක්‍රියා මාර්ග සාපේක්ෂ වශයෙන් අවම මට්ටමක පවතී. මෙවන් කාල වපසරියක් තුළ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයට යොමු කරලීම උදෙසා ඒ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් එම්.
රංජන් පී. පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ මේජර් උපුල් හේරත් මහතාගේ ප්‍රාග්ධන සම්පත් දායකත්වයෙන් 2019 ඔක්තෝබර් 25 දින වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යයාලීය ශ්‍රවණාගාරයේදී පැවැත් වූ අතර ප්‍රජා විශෝධන නිලධාරිනී ඒ. කේ. ඩී. එන්. හේමන්ති මහත්මිය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
කොට්ඨාසයේ ග්‍රාම නිළධාරීන්, සංවර්ධන නිළධාරීන්, ක්ෂත්‍ර නිළධාරීන් ඉලක්ක කරගනිමින් කළුතර පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යයාලීය නිලධාරීන් විසින් මෙම වැඩසටහන පවත්වන ලදි.


ස්වයං රැකියා පුහුණු වැඩමුළුව - 2019
වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාමීය කාන්තාවන් ගේ ජිවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ස්වයංරැකියා පුහුණුවක් ලෙසින් පිරිසිදු තුනපහ වර්ග ගෙදරදී සකස්කර ගැනීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් එම්.රන්ජන් පී.පෙරේරා මහත්මාගේ අනුදැනුම මත 2019.ඔක්තෝම්බර්.21 දින වලල්ලාවිට දකුණ ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ කාන්තා සමිති සාමාජික නිවසේදී පවත්වන ලදී.
787B වලල්ලාවිට දකුණ ග්‍රාම නිලධාරිනී කේ.ටී.ආර්.ඒ.ශ්‍රියාලතා මහත්මිය සහ සංවර්ධන නිලධාරී එච්.ආර්.යූ සුදසිංහ මහත්මිය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන වනිතාකටයුතු නිලධාරිනී අයි.ඒ.වීරක්කොඩි, මානවසම්පත් නිලධාරී එච්.එල්.සී.දමයන්ති, ඵලදායිතා ප්‍රවර්ධන නිලධාරී ඩබ්.කේ.නිරෝෂා කුමාරි,අභ්‍යාසලාභී උපධිධාරී එන්.ජි.නිල්මිණි යන මහත්මීන් ගේ සම්පත් දායකත්වයෙන් පවත්වන ලදී.



සිවිල් ලියාපදිංචි කිරීමේ අංශයේ කටයුතු විධිමත් කිරිම - 2019
වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්රා්ර් එස්.වී.එම්.එම් සමරසිංහ මහත්මා විසින් සිංවිධානය කරනු ලැබූ ආදාහනාගාර -සුසානභුමි වෙන්කර ගැනීම සඳහා ඉල්ලුම් කිරීමේදී පළාත් පාලන ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ලේඛන පිළිබඳව ඒ හා සම්බන්ධ වන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2019 ඔක්තෝම්බර් 23 වන දින ප්‍රාදේශීය ලේකම් එම්.රන්ජන් පී.පෙරේරා මහත්මාගේ මූලිකත්වයෙන් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
මෙහිදී විශේෂ දේශනයක් හදිසි මරණ පරීක්ෂක අරුණ දීප්ති ගුණසිංහ මහත්මා විසින් පවත්වන ලද අතර මෙම වැඩසටහන සඳහා සහකාර ප්‍රාදේශීය ලේකම්,පරිපාලන ග්‍රාම නිලධාරී,කොට්ඨාශයේ උප්පැන්න මරණ විවාහ රෙජිස්ට්රාර්වරු,හදිසි මරණ පරීක්ෂ්කවරු,කොට්ඨාශයේ ග්‍රාම නිලධාරීවරු,සහ මීගහතැන්න රෝහල,වලල්ලාවිට ප්‍රාදේශීය සභාව, මීගහතැන්න පොලිස් ස්ථානය නියෝජිත නිලධාරීන් ද ඇතුළුව විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන සාර්ථකව පවත්වන ලදී.



පුංචි පහේ ළමා සිත්තරු - 2019
වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සාහිත්යේ උත්සවයේ හතරවන අදියර ලෙසින් ප්‍රාදේශීය ලේකම් එම්. රංජන් පී. පෙරේරා මහතාගේ උපදෙස් මත සංස්කෘතික සංවර්ධන සහකාර ඒ. ඩී. චිත්‍රා මාලනී මහත්මිය විසින් සංවිධාන කරන ලද “පුංචි පහේ ළමා සිත්තරු” වැඩසටහන දෙයියාගල ආරණ්‍ය සේනාසන භුමියේදි 2019 ඔක්තෝබර් 11වන දින පෙර පාසල් ළමුන් 150 කගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි.
දෙයියාගල ආරණ්‍ය සේනාසනය හා තොටස් ඇල්ල ආශ්‍රිත ස්වභාව සෞන්දර්ය වින්දනය කරලිමේ අවස්ථාව පෙර පාසල් ළමුන් වෙත ලබා දී ඒ ඇසුරින් තම සිත් ගත් අවස්ථාවන් සිතුවමට නැංවිම සඳහා පෙර පාසල් දරුවන් යොමු කරවිම මෙහි අරමුණ විය



පෙර පාසල් ගුරුවරියන් සඳහා කෙටි කාලීන සේවාස්ථ ගුරු පුහුණු වැඩසටහන - 2019
අනාගත ලෝකය දිනන්නට වෙර දරන මල් කැකුළු බඳු කුඩා දරුවන්ගේ හෙට දින සුරක්ෂිත කිරීම උදෙසා මහඟු දායකත්වයක් මුල් ළමාවිය සංවර්ධන ක්‍රියාකාරකම් මඟින් ලැබේ. මෙකී කර්තව්‍ය නිසි ලෙස සාක්ෂාත් කර ගැනීමට උරදෙන පෙර පාසල් ගුරුවරියන්ගේ දැනුම යාවත්කාලීන කිරීමේ වැඩසටහනක් 2019 අගෝස්තු 07 වන දින සිට පුරා දින 07 ක් සැසි 14 ක් ලෙස වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය රැස්වීම් ශාලාවේදී පවත්වන ලදී.
කාන්තා හා ළමා කටයුතු සහ වියළි කළාප සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සඳහා සියළු පෙර පාසල් නියෝජනය වන පරිදි තෝරා ගත් පෙර පාසල් ගුරුවරියන් 51 ක් සහභාගී විය.
පෙර පාසල් ගුරුවරියන්ගේ දැනුම යාවත්කාලීන කිරීම හා කුසලතා ඉහළ නැංවීම, මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳව දේශීය හා ජාත්‍යන්තර ක්‍රමවේද පිළිබඳ දැනුවත් කිරීම අරමුණු කරගත් මෙම වැඩසටහන සඳහා මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ නියමු පුහුණුකරුවන් ලෙස පුහුණුව ලැබූ මුල් ළමාවිය සංවර්ධන නිලධාරීන් විසින් සම්පත් දායකත්වය ලබා දුනි. මේ සඳහා සහභාගී වූ සියළු ගුරුවරියන් හට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මඟින් වටිනා සහතිකයක් පිරිනමන ලදී.
මෙම වැඩසටහන ප්‍රාදේශීය ලේකම් එම්. රංජන් පී. පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරිනී එස්. ටී. සුරසි ලලන්තිකා මෙනවිය විසින් සංවිධානය කරන ලදී.



නූර්ති ගී ප්‍රසංග වැඩසටහන - 2019
සාහිත්‍ය කලා මහෝත්සවය වෙනුවෙන් පවත්වනු ලබන වැඩසටහනේ පස්වන අදියර ලෙසින් ටවර් හෝල් රඟහල පදනමෙහි පූර්ණ අනුග්‍රහය යටතේ ප්‍රාදේශීය ලේකම් එම්. රංජන් පී. පෙරේරා මහතාගේ අදහසක් ලෙස කාර්යාල නිලධාරින්ගේ හා පාසල් දරුවන්ගේ සුභාවිත රසවින්දනය උදෙසා සංස්කෘතික සංවර්ධන සහකාර ඒ. ඩී. චිත්‍රා මාලනී මහත්මිය විසින් සංවිධානය කරනු ලැබු නූර්ති ගී ප්‍රසංගය 2019 ඔක්තෝබර් 17 වන දින වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කාර්යාලීයීය ප්‍රධාන රැස්විම් ශාලාවේ දී පවත්වන ලදි. ජනකාන්ත සම්මානනීය අග්‍රගන්‍ය කලාකරුවන් රැසකගේ සජීවී ගායන මෙන්ම රංගන කෞශ්‍යයන් දැක බලා ගනිමින් නූර්ති ගී රසවිදීමේ දුර්ලභ අවස්ථාව මෙමගින් හිමිවිය.

පිළිකා කාරක සම්බන්ධව දැනුවත් කිරිමේ වැඩසටහන - 2019
වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් රංජන් පී පෙරේරා මහතාගේ අදහසක් මත වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ඵලදායිතා ප්‍රවර්ධන ඒකකය අනුග්‍රහයෙන් වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලු නිලධාරින් ආවරණය වන පරිදි පිළිකා කාරක සම්බන්ධව දැනුවත් කිරිමේ වැඩසටහනක් 2019 ඔක්තෝබර් 11 වන දින වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයිය රැස්විම් ශාලාවේදි පවත්වන ලදි.
එහිදි පිළිකා කාරක පිළිබඳව හා පිළිකා රෝග වලින් මිදිම පිළිබඳව දැනුවත් කරන ලද අතර පොලිතින් භාවිතය අවම කිරිම පිළිබඳව ද දේශනයේදි අවධාරනය කරන ලදි.මේ සඳහා සම්පත් දායකත්වය කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය සුජිවා ගමඇතිගේ මහත්මිය විසින් සිදු කරන ලදි



ධර්ම සාකච්ඡාව හා භාවනා වැඩ සටහන - 2019
බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන තිරසර පුණ්‍යග්‍රාම වැඩසටහන යටතේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළින් තෝරාගත් පැලවත්ත ජනපද ගම්මානය සදහා අනුමත ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන පැලවත්ත ජනපදයේ ශ්‍රි සම්බෝධි විහාරස්ථානයේ දී 2019 ඔක්තෝම්බර් 09 වන දින සුවිශේෂී ධර්ම දේශනාවක් හා භාවනා වැඩසටහනක් ලෙසින් පවත්වන ලදී.
මෙමගින් ප්‍රදේශයේ ජනතාවගේ ආගමික ප්‍රබෝධය ඇතිකරලීම මෙන්ම ආගමානුකූල ජිවන රටාවක් තුළින් තම ජීවිතය ධාර්මිකව ගොඩනගා ගන්නා අයුරු වඩාත් ක්‍රමානුකූලව ජනතාවට පහදා දීම අරමුණ විය.පූජ්‍ය ගොළුවාමුල්ලේ සද්ධා සුමන හිමිපාණන් වහන්සේ සහ විහාරාධිපති පූජ්‍ය කොළොන්ගස්වැව කුසලඤාණ හිමියන්ගේ ද සහභගීත්වය ඇතිව සිදු කරනු ලැබූ මෙම වැඩසටහන වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් එම්.රන්ජන්.පී.පෙරේරා මහත්මා සහ සහකාර ප්‍රාදේශීය ලේකම් එරංගි ප්‍රනාන්දු මහත්මියගේ අනුදැනුම යටතේ බෞද්ධ කටයුතු සමායෝජක ආර්.එස්.ගමඇතිගේ මහත්මා විසින් සංවිධානය කරණ ලදී.850E-පැලවත්ත බටහිර දකුණ ග්‍රාම නිලධාරී එම්.ඒ.එන් කාන්තිඩමහත්මිය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරී මහත්ම මහත්මීන් රැසක් මෙම වැඩසටහන සඳහා සහභාගී විය.


ආයුර්වේද වෛද්‍ය සායනය හා බෝ නොවන රෝග පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන - 2019
බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරණු ලබන තිරසර පුණ්‍යග්‍රාම වැඩසටහන යටතේ තෝරාගත් වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පැලවත්ත ජනපද ගම්මානය සඳහා අනුමත ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන යටතේ ආයුර්වේද වෛද්‍ය සායනය හා බෝ නොවනරෝග පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැලවත්ත ජනපද ශ්‍රි සම්බෝධි විහාරස්තනයේ 2019 ඔක්තෝම්බර් 04 වන දින පවත්වන ලදී.
මෙම වැඩසටහන මගින් එම ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ප්‍රවර්ධනය කිරීම සහ ඒ පිළිබඳ දැනුවත් භාවයක් ඇති කිරීම අරමුණු විය.ඒ අනුව සුවිශේෂී සම්පත් දායකත්වයක් ලබාදෙමින් බෝනොවෙන රෝග ඇති වන ආකාරය හා ඒවා වලක්වා ගැනීම පිළිබදව විශේෂ දැනුවත් කිරීමක් ආයුර්වේද ප්‍රජා වෛද්‍ය එම්.ඒ.සී මනෝරි මහත්මිය විසින් සිදුකරන ලදී.වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් එම්.රන්ජන්.පී.පෙරේරා මහත්මා සහ සහකාර ප්‍රාදේශීය ලේකම් එරංගි ප්‍රනාන්දු මහත්මියගේ අනුදැනුම මත බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරී ආර්.එස්.ගමඇතිගේ මහතා සහ බෞද්ධ කටයුතු සංවර්ධන නිලධාරී උමේෂා ගංගානි මහත්මිය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනට සංවර්ධන නිලධාරී සාරා ගුණරත්න මහත්මිය සංස්කෘතික සංවර්ධන නිලධාරී(බ:ප) ජී.චන්ද්රංලාල් මයා 850E-පැලවත්ත බටහිර දකුණ ග්‍රාම නිලධාරිනී එම්.ඒ.එන් කාන්ති මිය ඇතුළු නිලධාරීමහත්ම මහත්මීන් සහභාගී විය.
සුභාවිත ගී රසවින්දන වැඩසටහන - 2019
බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන තිරසර පුණ්‍යග්‍රාම වැඩසටහන යටතේ වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුළින් තෝරා ගත් පැලවත්ත ජනපදය ගම්මානය සඳහා අනුමත අධ්‍යාත්මික සංවර්ධන වැඩ සටහන යටතේ සුභාවිත ගී රසවින්දන වැඩසටහනක් 2019 සැප්තැප්බර් 22 පැලවත්ත ජනපදය ශ්‍රි සම්බෝධී විහාරස්ථානයේ පවත්වන ලදි.
මෙමගින් ප්‍රදේශයේ ජනතාවගේ රසඥතාවය වර්ධනය කිරිමමෙන්ම වර්තමාන සමාජයෙන් වියැකීයන සුභාවිත ගීතයන් ආරක්ෂාකර ගැනීම එහි වටිනාකම පිළිබඳ ජනතාව තුළ දැනුවත් භාවයක් ඇතිකිරීම අරමුණ විය.ප්‍රවීණ ආචාර්ය තිලක් පුෂ්ප කුමාර මහතා,ගායන ශිල්පී සුජිත් වඩනම්බි මහතා,වාදන ශිල්පී නලින් නාගොඩ විතාන මහතා ඇතුළු වාදන ශිල්පීන් මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට සම්පත් දායකත්වය සපයන ලදි.
වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් එම්. රංජන් පී. පෙරේරා මහතාගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් එරංගි ප්‍රනාන්දු මහත්මියගේ අනුදැනුම යටතේ බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරි ආර්.එස්.ගමඇතිගේ මහතා විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනට වලල්ලාවිට ශාසනාරකෂක බලමණ්ඩලේ ගරු ලේඛකාධිකාරී පූජ්‍ය ඕපාත ඥානිස්සර හිමිපාණන් වහන්සේ සහ විහාරාධිපති කොළොන්ගස්වැව කුසලඤාණ යන හිමිපාණන් වහන්සේලා ප්‍රධානව සංස්කෘතික සංවර්ධන නිලධාරී(බ:ප) ජී.චන්ද්‍රලාල් මයා 850E-පැලවත්ත බටහිර දකුණ ග්‍රාම නිලධාරිනී එම්.ඒ.එන් කාන්ති මිය ඇතුළු නිලධාරී මහත්ම මහත්මීන් සහභාගී විය.


ළමා සමාජ ළමුන්ගේ කුසලතා එළිදැක්විමේ වැඩ සටහන හා ත්‍යාග ප්‍රධානෝත්සවය - 2019
ලෝක ළමා දිනය නිමිති කර ගනිමින් වලල්ලාවිට ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ ළමා සමාජ දරුවන්ගේ කුසලතා ප්‍රවර්ධන වැඩ සටහන “ සුමිතුරු දැයකින් දිනවමු දරුවන්” යන තේමාව යටතේ 2019.ඔක්තෝම්බර් .05 දින ලෝක ළමා දිනය මුල් කර ගනිමින් වලල්ලාවිට ප්‍රදේශීය ලේකම් එම්. රංජන් පී. පෙරේරා මහතාගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් එරංගි ප්‍රනාන්දු මහත්මියගේ අධික්ෂණය යටතේ ළමා හිමිකමි ප්‍රවර්ධන නිළධාරි රංග අබේරත්න මහතා විසින් වීරකන්ද ප්‍රථමික විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදි පවත්වන ලදී. මෙහිදි ළමුන්ට තම කුසලතා එළිදැක්වීමට ද අවස්ථාව හිමි වු අතර සියලු දරුවන් වෙනුවෙන් ත්‍යාග ප්‍රධානයක් ද සිදු කරන ලදි.සංවිධාන දායකත්වය වීරකන්ද උදා සමාජය විසින් ලබා දෙන ලදි.



බෝ නොවන රෝග පිළිබඳ දැනුවත් කිරිම හා පසු විපරම. - 2019
වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ මැදිහත්විමෙන් වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් එම්. රංජන් පී. පෙරේරා මහතාගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් එරංගි ප්‍රනාන්දු මහත්මියගේ පුර්ණ අධික්ෂණය යටතේ 2019 ඔක්තෝබර් 01 දින බෝ නොවන රෝග පිළිබඳ දැනුවත් කිරිමේ වැඩ සටහනක් වලල්ලාවිට සුවි සුද්ධාරාම විහාරස්ථානයේදි පවත්වන ලදි.
ප්‍රජා කේන්ද්‍රීය සමිපත් හුවමාරු ප්‍රජා මධ්‍යස්ථානය වෙදවත්ත (CORE ආයතනය ) සමිබන්ධිකරණයෙන් බෝ නොවන රෝග සායනය සහ අවු.25ට වැඩි ජනතාව දැනුවත් කිරිම ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එච්.ඒ.සී.මනෝරි මහත්මියගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණි.මෙහිදි මෙම වැඩසටහන සඳහා සහභාගිවු පිරිස් සදහා ඩෙංගු රෝගය ඇති වන ආකාරය පිළිබඳව දැනුවත් කිරිම සහ එය ඇතිවිමට පෙර වලක්වා ගැනිමට ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ දැනුවත් කරණ ලදි.
මේ සදහා අනුග්‍රාහක දායකත්වය සෞඛ්‍ය පෝෂණ සහා දේශිය වෛද්‍ය අමාත්‍යාංශය මගින් සපයන ලදි. දේශිය වෛද්‍ය සංවර්ධන නිලධාරි, ඒ.වි.කේ.ජයවර්ධන මහත්මිය විසින් සංවිධානය කරන ලද මෙම වැඩ සටහන සඳහා 787 B වලල්ලාවිට 787 B ග්‍රාම නිලධාරි, කේ.ටී.ඒ.ආර්.ශ්‍රියාලතා මිය සහ සංවර්ධන නිලධාරි,උදුලා සුදසිංහ මිය විසින් දන්වන ලද සහයෝගයෙන් සාර්ථක කර ගැනිමට හැකිවිය.


නේවාසික පුහුණු වැඩමුළුව - 2019
2019.ජුනි 26 /27 දෙදින පුරා පරිවාස හා ළමා රක්ෂණ සේවා දෙපාර්තමේන්තුව, වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පූර්ණ අනුග්‍රහයෙන් තරුණ පිරිස් ඉලක්ක කර ගනිමින් රූණ කන්ද ජෛව විවිධත්ව පරිසර සංරක්ෂණ මධ්‍යස්ථානයේ දී සුවිශේෂී වැඩමුළුවක් සිදු කරන ලදී.
එහිදී තරුණතරුණියන්ගේ සිත් තුළ පැන නඟින ව්‍යාකූලත්වයන් අවම කිරීම,විවිධ ගැටලු ඇති වීමට පෙර එම ගැටළු වලක්වා ගැනීමට ක්‍රමවේදයන් පෙන්වා දීම හා සිතුවිලි සවිබල ගැන්වීම,සොභා දහම හා තරුණ පරපුර අතර ආධයාත්මික හා සෞන්දර්යාත්මක බැඳියාවන් ශක්තිමත් කිරීම හා සතුටින් වැඩ කිරීමේ ක්‍රමවේදයක් ඇති කිරීම සඳහා මෙම වැඩමුළුව සිදුකරන ලදී.වර්ථමාන සමාජය තුළ තරුණ පරපුර යනු ඉතා සුවිශේෂී සමාජ කණ්ඩායමක් වේ.සමාජය තුළ අනාගතය නිර්මාණය කිරීමට දායකවන පිරිසද,ඒ සදහා වගකීම උසුලන්නෝද ඔවුන් වෙති.
ඒ අනුව මෙම වැඩමුළුව එයට සහභාගීවූ තරුණ තරුණියන්ට ජිවිතයට නවුමු අත්දැකීමක් එක්කරන්නක් විය.මෙම වැඩමුළුව ප්‍රාදේශීය ලේකම් තුමාගේ සහ සහකාර ප්‍රාදේශීය ලේඛම් තුමියගේ පූර්ණ අධීක්ෂණය යටතේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී තුමන්ගේ ප්‍රධානත්වයෙන් කාර්යාලයීය මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.සංවිධාන දායකත්වය ළමා හිමිකම් නිලධාරීතුමන් විසින් ලබාදෙන ලදී.


දන්ත සායනය - 2019
2019 ජනවාරි 24 - දන්ත සායනය
පැවැත්වු ස්ථානය -වලල්ලාවිට ශ්‍රි සුවිසුද්ධාරාම විහාරස්ථානය
ඉලක්කගත කණ්ඩායම - වැඩිහිටි ප්‍රජාව
ප්‍රතිලාභ ලැබු ප්‍රමාණය - 80
අනුග්‍රහය- සෞඛ්‍ය ,පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය,වැඩිහිටි මහලේකම් කාර්යාලය,වලල්ලාවිට මහසෙන් වැඩිහිටි කමිටුව
සහභාගිත්වය - වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරි සහ සමාජ සේවා නිලධාරි (බ.ප)

වන්දනා චාරිකාව - 2019
2019 ජනවාරි 31 - වැඩිහිටි බලමණ්ඩල නිලධාරින්ගේ නුවර වන්දනා චාරිකාව
ඉලක්කගත කණ්ඩායම - වැඩිහිටි බලමණ්ඩල නිලධාරින්
ප්‍රතිලාභ ලැබු ප්‍රමාණය -120
අනුග්‍රහය - පළාත් සභා මන්ත්‍රී ගරු ජගත් අංගගේ ,බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව
සහභාගිත්වය - සමාජ සේවා නිලධාරි (බ.ප)

ඇස් කණ්නාඩි බෙදාදීම - 2019
2019 පෙබරවාරි 14 - අවාසි සහගත ප්‍රජාව සදහා ඇස් කණ්ණාඩි බෙදාදීම.
පැවැත්වු ස්ථානය :ගොරකදුව නන්දන වන විහාරය හා ගම්මන විහාරස්ථානය
ඉලක්කගත කණ්ඩායම - අවාසි සහගත ප්‍රජාව
ප්‍රතිලාභ ලැබු ප්‍රමාණය = 205
අනුග්‍රහය - බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව, ගොරකදුව සත්මිණ වැඩිහිටි කමිටුව හා ගම්මන වැඩිහිටි කමිටුව
සහභාගිත්වය - සමාජ සේවා නිලධාරි (බ.ප),වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරි

පිළිකාවෙන් පෙළෙන පුද්ගලයින්ගේ මානසික සෞඛ්‍ය ඉහල නැංවීමේ වැඩසටහන - 2019
2019 ජුලී 22 - පිළිකාවෙන් පෙළෙන පුද්ගලයින්ගේ මානසික සෞඛ්‍ය ඉහල නැංවීමේ වැඩසටහන
පැවැත්වු ස්ථානය :ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - වලල්ලාවිට
















